free counter statistics

එක්සත් රාජධානියේ ලාංකීය නම තැබූ, ඉංජිනේරු ලේඛකයා... චන්දන ගුණසේකර

මෙහෙයවීම : බන්දුල මානගේ, සටහන : ඔවදිනී තෙන්නකෝන් සහ ආදිත්‍ය මිල්ලන්ගොඩ

සේසත අප විසින් ඔබට අලුතින්ම හඳුන්වා දෙනු ලැබූ Coffee Chat විශේෂාංගයේ පළමු ලිපිය, පසුගිය දිනක වෙබ් පාඨක ඔබ සැම වෙනුවෙන් ගෙන ආවෙමු. ඒ සඳහා ලද ඉහල ප්‍රතිචාර නිසාවෙන් එහි දෙවන ලිපිය ද ඔබ වෙත ගෙන ඒමට අප සිතුවෙමු. මෙවරද අප හා සම්බන්ධ වන්නේ ලන්ඩනයේ අප සමග වෙසෙන කීර්තිමත් ශ්‍රී ලාංකිකයෙකි.

ශ්‍රී ලංකාවේ පූජනීය නගරය, අනුරාධපුරය උපන් ගම කරගත් මොහු නමින් චන්දන ගුණසේකර. පියාගේ ව්‍යාපාර කටයුතු සහ මවගේ ගුරු වෘත්තීය ජීවිතය ඇසුරේ හැදී වැඩුණු හෙතෙම දරුවන් තිදෙනෙකුගෙන් යුතු පවුලේ වැඩිමල් සහ එකම පුත්‍රයා ය. මූලික ප්‍රාථමික අධ්‍යාපනය අනුරාධපුර නිවත්තකචේතිය මහ විද්‍යාලයෙන් ද, ඉන්පසු සිව්වන වසර සිට උසස් පෙළ විභාගය දක්වා අධ්‍යාපනය අනුරාධපුර ශාන්ත ජෝශප් විද්‍යාලයෙන් ද සම්පූර්ණ කරගන්නා මෙතුමන්, උසස් අධ්‍යාපනය සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළත් වී එහිදී ඉංජිනේරු උපාධිය හදාරා කීර්තිමත් ලාංකීය ඉංජිනේරුවරයකු ලෙස ලෝකයට දායාද වී ඇත. උපාධිය ලබා වසරක් වැනි ඉතා කෙටි කලකින් ඔහු විදේශගත වන්නේ 1995 වසරේදීය. 1997 වසරේදී විවාහ දිවියට ඇතුලත් වන හෙතෙම දයාබර දියණියකගේ හා පුත්‍රයෙකුගේ ආදරණීය පියාණන් කෙනෙකු ලෙස තම පෙම්බර බිරිඳ සමඟින් ජීවිතය සතුටින් ගෙවමින් සිටී. සේසත අපි ඔහු සමග මෙලෙස zoom තාක්ෂණික මාධ්‍ය ඔස්සේ දොඩමළු වුනෙමු.

ප්‍රශ්නය : එතකොට කොහොමද ඔබ මේ ලේඛන කලාවට යොමු වුණේ? ලංකාවේදී ද, නැත්නම් මෙහෙට (ලන්ඩන්) ආවට පස්සෙ ද?

පිළිතුර : ලංකාවේදී ඇත්තටම මම ඉගෙන ගත්තේ ගණිත විෂයනෙ, මම සිංහල ඉගෙන ගත්තේ සාමාන්‍ය පෙළ දක්වා විතරයි. ඒ උනාට මම පොඩි කාලෙ ඉඳලම සිංහල භාෂාවට හා සිංහල සාහිත්‍යට හරිම කැමතියි. ඒ විතරක් නෙමේ චිත්‍රකතා පත්තර, චිත්‍රපට බැලීමට වගේ දේවල් වලටත් ගොඩක් ආස කරා. අපි පොඩි කාලේ, මමයි ගලගොඩ කියලා මගේ තව යාළුවෙකුයි චිත්‍රකථා අඳිනවා. ඇඳලා යාලුවන්ට දෙනවා බලන්න. (සිනාසෙමින්) සත දහයක් අයකරලා තමයි බලන්න දෙන්නෙ. ඒකෙන් අපි කතා ගොඩනඟන්න පුරුදු වුණා. ඊටත් වඩා අපිට හම්බ උනා ඉතාමත් හොඳ සිංහල ගුරුවරු. එයාලා තමයි අපිට රචනා එහෙම ලියන්න හොඳින් ඉගැන්නුවෙ. අපට රස වින්දනය හුරු කළේ.

ඒ වගේම පොඩි කාලෙ ඉඳලම මම කියවන්න ආස කළා. අපේ අම්මා ඒ කාලේ, ඒ කියන්නේ 78, 79 කාලේ වගේ අලුතෙන් විවෘත කරපු අනුරාධපුර නවනගරයෙ පුස්තකාලයට එක්කරගෙන ගිහින් ඒකෙ සාමාජිකත්වය අරන් දුන්නා. ඉන් පස්සෙ අපි ඒකෙන් පොත් අරන් ඇවිත් කියවනවා. ඒවගේම ඉස්කෝලෙ අලුත් පොත් දුන්නම වාරෙ පටන් ගන්නත් ඉස්සරලා ඒව කියවලා ඉවර කරනවා. ඊට පස්සෙ රචනා ලියනවා වගේ දේවල් කරනවා. තව කවි එහෙමත් ලියනවා. ගුරුවරු සහ යාළුවො ඒවා හොඳයි කියනවා. ඒකෙන් තේරුම් ගියා කවි ලියන්න එහෙමත් පොඩි පොඩි හැකියාවක් මට තියනවා කියලා. ගුරුවරුත් මගෙ රචනා පන්තියට ගෙනල්ලා හැමෝටම ඇහෙන්න කියවනවා. ඒත් සාමාන්‍ය පෙළින් පස්සෙ සිංහල භාෂාව ඉගෙන ගැනීමක් කෙරුනෙ නැහැ.

විශ්ව විද්‍යාලයෙදීත් ඒ වගේ දේවල් වලට සහභාගි උනාද, සාහිත්‍යයේ වගේ දේවල් වලට?

එහෙම දේවල් වලටත් මම සහභාගි වුණේ නැහැ. ඉඳලා හිටලා කවියක් දෙයක් ලිව්වට බිත්ති පුවත්පතකට වත් මම ලිව්ව කියල මතකයක් නෑ. මෙහෙ ආවට පස්සෙත් ඉතිං අම්මගෙ තාත්තගෙ හරි මගෙ නෝනගෙ හරි උපන් දිනයට කවියක් දෙකක් ලිව්වට ඒවා ලොකුවට කෙරුනෙ නෑ. හැබැයි මං ලංකාවෙන් පොත් ගෙනල්ල කියවන එකනම් දිගටම කරගෙන ගියා. ඔහොම ඉන්නකොට තමයි මුහුණු පොත කරළියට ආවෙ. ඒකෙ කට්ටිය කවි ලියනවා, ඉතිංමමත් ඔය කවියක් දෙකක් ලියලා පළ කරා. ඔය අතරෙ කවි පිටු වලටත් සම්බන්ධ වුණා. ඒත් එක්කම සිංහල කී පෑඩ් එක ෆෝන් එකටම ආවට පස්සෙ ලිවීම පහසු උනා. ඒ නිසා ලියන වැඩ කටයුතු වැඩිපුර කරගෙන ගියා.

ඊට පස්සේ යාළුවෙක් මට කියල දුන්නා බ්ලොග් එකක් පටන් ගන්න හැටි. ඒත් එක්කම දිගටම මේවිදිහට කවි ලියලා දානකොට හොඳ ප්‍රතිචාර ලැබෙන්න ගත්තා. ඒත් එක්ක ලියන වැඩේට උත්තේජනයක් ඇති වුණා. මේ විදිහට ටික ටික කවි ලිවීම මුලින්ම කරා, ඊට පස්සේ චිත්‍රපටයක් බැලුවහම එහෙම නැත්නම් පොතක් කියෙව්වහම ඒ ගැන විචාර වගේ ලියන්න පටන් ගත්තා. මම චිත්‍රකතා වලට සහ චිත්‍රපට වලට කොහොමත් ආසයිනෙ. ඒ නිසා ඒ වගේ ක්ෂේත්‍ර වලට සම්බන්ධ පුද්ගලයින් ඇගයීමට ලක් කරමින් සහ ඒ වගේ කෙනෙක් නැති වුණාට පස්සේ ඔවුන් ගැන සඳහන් කරමින් එහෙම ලියන්න පටන් ගත්තා. මම එක ලිපි පෙළක් කරා "මිය ගිය පසුව නොව ජීවත්ව සිටියදී අගය කළ යුතු චරිත" කියලත්. ඒක ගොඩක් කට්ටිය බලලා තිබුණා. ඒ අතරින් අමරසිරි කලංසූරිය, විමල් කුමාර ද කොස්තා (මිය යන්න පෙර) එහෙම ඒවා කියවලා මගෙත් එක්ක කතා කරා. පස්සේ මම ලංකාවට ගියහම එයාලව හම්බ වෙන්න පවා ගියා.

එතකොට එතනින් කොහොමද පොත් ලියන තත්ත්වයට ආවේ, පරිවර්තන එහෙම කරන තත්ත්වයට?

ඔය විදිහට ෆේස්බුක් එකේ ලියන ගමන් ඉන්නකොට මට ප්‍රංශයේ ඉන්න මංජුල සේනාරත්න වගේ ප්‍රසිද්ධ ලේඛකයන් හම්බුණා. ඒ වගේම ගොඩක් පොත් ප්‍රකාශකයොත් දැන හඳුනා ගන්න ලැබුණා. ඒ අතර මගෙත් අදහසක් තිබ්බා කවි පොතක් ලියන්න. ඒ වගේම මගේම නව කතාවක් ලියන්න. නමුත් ඒකට මගක් පෑදුනේ නැහැ. ඔය අතරතුර දවසක් මගේ බිරිඳ පොතක් ගෙනල්ලා කියවනවා දැක්කා The Tattooist of Auschwitz කියලා. ඒක Heather Morris කියන කතුවරිය ලියාපු එකක්. මමත් ඒක අරන් ටිකක් කියවන කොට මට ආසාවක් ඇතිවුණා ඒ ලස්සන කතාව ගැන. පස්සෙ මේකෙ මුල් කොටස පරිවර්තනය කරල මුහුණු පොතට දැම්මා බලන්න. ඒකට හොඳ ප්‍රතිචාර ලැබුණ නිසා මං තීරණය කළා පොත පරිවර්තනය කරන්න. එහිදී පොතේ නීත්‍යාණූකූල අයිතිය ගැනීම පිළිබඳව යම් යම් ගැටලු මතුවුණා. මොකද පිළිගත් පොත් ප්‍රකාශකයකුට විතරයි ඒක ගන්න පුළුවන්. ඒවත් ටිකින් ටික විසඳගෙන, අපූරු පොත් කියන ප්‍රකාශන ආයතනය සම්බන්ධ කරගෙන, 2019 දී පළමු පොත මුද්‍රණය කොට ප්‍රකාශයට පත් කළා"අවුෂ්විට්ස් හී පච්චකොටන්නා" නමින්. මෙතනදි මට මගේ මිත්‍රයා මංජුල සේනාරත්නගෙන් ලැබුණු සහය අමතක කරන්න බෑ

කොහොමද පොතට ආපු ප්‍රතිචාර?

මම හිතුවා ලංකාවෙ පාඨකයො මේකට ආස වෙයි කියලා, මොකද ඒකෙ අපට හමුවෙන ප්‍රධාන චරිතයෙ ගති පැවතුම් එහෙම ලංකවෙ සංස්කෘතියත් එක්ක ලඟින් යන නිසා. ඊටත් වඩා මේක ආදර කතාවක්නෙ, මරණය පෙනි පෙනී ඉන්න ඉතාම අසීරු අවස්ථවක ඇති වන ආදරයක් ගැනයි මේකෙන් කියවෙන්නෙ. මේක මගෙ පළමු පොත උනාට පොත් ප්‍රදර්ශනයේ ගොඩක් කතා බහටලක් වුණා මේ ගැන. ඒ නිසාත් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණු නිසාත් ඉක්මණින් පොත් 1000ක් පමණ අලෙවි වුණා. ඒක මටත් ලොකු උත්තේජනයක් වුණා.

වෙන සංස්කෘතියක, ඒ කියන්නේ වෙන භාෂාවකින් ලියපු එකක් ලංකාවෙ අයට ගැලපෙන විදිහට කරද්දී කොහොමද අත්දැකීම?

ඒක හොඳ ප්‍රශ්නයක්. දැන් සමහරු දොස් කියනවා පරිවර්තන කරන්නෙ Google Translate එකෙන් කියලා. එහෙම කරන්න බැහැ. ඉංග්‍රීසි දැනුම විතරක් තිබිලම විතරකුත් බෑ. භාෂා හැසිරවීම, අවශ්‍ය තැනට අදාළ හැඟීම ජනිත කරවන වචන භාවිතා කළ යුතුයි මෙය පරිවර්තනයක් කියලා නොදැනෙන තරමට. නමුත් කතාවේ මූලික අදහස මරන්නෙ නැතුව වැඩේ කරන්නත් ඕන. ඉතිං මේක සෑහෙන විශාල අභියෝගයක්.

එතකොට, මුල් පොතේ කතෘ Heather Morris මහත්මිය හම්බුණාද ඔබට?

ඔව්. මම කොහොමත් එයත් එක්ක Chat කළා ටික කාලයක ඉඳන්. ඇය නවසීලන්ත ජාතිකයෙක්. 2019 අග භාගයේ එතුමියගෙ දෙවෙනි පොත ආවා Cilka's Journey කියලා. හොඳට පර්යේෂණ කරලා එහෙම ලියලා තිබුණු ඒ පොත එලි දක්වන්න එතුමිය ආවා ලන්ඩන්වලට. අපිත් ප්‍රවේශපත්‍ර අරගෙන ඒකට සහභාගී උනා. උත්සවය අවසානයේ මම එතුමියව මුණගැහිලා මං කරපු පරිවර්තනයත් ඇයට දුන්නා. එතුමිය ඉතාමත් සතුටින් ඒක භාරගෙන, මට පිටටත් තට්ටු කරලා සුභ පතලා, මාත් එක්ක ඡායාරූප කිහිපයකටත් පෙනී සිටියා. එතන හිටපුඅනිත් සුදු ජාතිකයො පුදුමෙන් වගේ බලන් හිටිය මේක. පරිවර්තකයෙක් විදිහට ඉතින් ඒක ලොකු වාසනාවක්, මට ලැබිච්ච ලොකු අවස්ථවක්. ලන්ඩන් හිටපු නිසා ඒ අවස්ථාව මට හම්බුණා.

දැනට ඔබ තවත් පොතක් කරගෙන යනව ද?

මම මුලින්ම කළේ කලින් කියපු පොත. ඊට පස්සෙ කළා ඇමෙරිකානු ගත් කතුවරයෙකු වන Stephen King මහතාගෙ Pet Sematary කියන පොතේ පරිවර්තනය “පෙට් සෙමට්‍රි” නමින්. (පොත පෙන්වමින්) ඒක ටිකක් බරපතල එකක්. මේක ප්‍රකාශයට පත් කළේ මියුසස් පබ්ලිෂින්හවුස් කියන ප්‍රකාශක ආයතනය. ඊට පස්සෙ කළේ Heather Morris මහත්මියගෙම Cilka's Journey පොතේ පරිවර්තනය. “සිල්කාගේ දිවිසැරිය” කියල නම් කෙරුණු ඒක සුභාවි ප්‍රකාශකයෝ තමා ප්‍රකාශයට පත් කළේ. දැන් ඔබ මේ කතා කරන කොට කරමින් ඉන්නෙ ඇමෙරිකානු ජාතික ලේඛකයෙකු වන Anthony Doerr මහතාගෙ “All the Light We Cannot See” කියන පොත. මේ අවුරුද්ද ඇතුළත ඒක ඉවර කරන්න හිතන් ඉන්නවා.

ඊළඟට මං අහන්නෙ, සාමාන්‍යයෙන් රැකියාව, පවුලේ වැඩ කරන ගමන් කොහොමද වෙලාව හදාගන්නෙ මේකට?

ඇත්තම කියනවනම්, දැන් වැඩ කරන තැනට යන්න පැයක් යනවා. එතකොට දවසෙන් පැය 12ක්විතර වැඩ වල ගෙදරින් පිට තමා ඉන්නෙ. ඊට පස්සෙ ගෙදර ඇවිත් කෑම කාලා කාමරේට ඇවිත්මේ වැඩ. තව වැඩ කරන අතරෙත් කෑම වෙලාවට එහෙම ටික ටික පරිවර්තනය කරනවා. සමහර වෙලාවට එක පිටුවක් කරන්න ගොඩක් වෙලා යනවා. පැයක් දෙකක් විතර. සෙනසුරාදා ඉරිදා නිවාඩු දවස් දෙකෙත් පරිවර්තන කටයුතු කරනවා. කොච්චර බැරෑරුම්, අමාරු දෙයක් වුනත් තමන්ට තෘප්තියක් හම්බෙනවා, මහන්සියෙ ප්‍රතිඵල විදිහට හොඳ ප්‍රතිචාර එනකොට සතුටුයි. දැන් ඔබ උනත් මට කතා කරන්නෙ මේ නිසානෙ. අපි ඔක්කොම දවසක මැරෙනවනෙ. මැරුණු දවසක මේ වගේ දෙයක් හරි ඉතුරු වෙනවනෙ. ඒකයි ඉතිං තියන සතුට. අනික අපි ලංකාවෙ මිනිස්සුන්ගෙ මුදලින් නිදහස් අධ්‍යපනයෙන් ඉගෙනගෙන මේ වගේ රටවල්වලට ඇවිත් ඉන්න එකේ ලංකාවට මොනව හරි දෙයක් කරන්න ඕනනෙ. එහෙම කරන එක දෙයක් තමා මේ. තව ලංකාවෙ අවසන් කාලයේ අසරණ වෙච්චි කලාකාරයිනට උදව් උපකාර කරන වැඩක නිරතවෙලා හිටියා. යම් යම් හිත් රිදීම් වැනි හේතු නිසා දැන්නම් ඒකෙන් අයින් වෙලා ඉන්නෙ. දැන් මේ පරිවර්තන කාර්යයේ නිරත වෙලා ඉන්නවා. මේකත් ගොඩක් පහසු කාර්යයක් නෙවෙයි. ඒ මුල් කෘතියට හානි නොවෙන්න ගැලපෙන විදිහට හොඳින් බලලා කරන්න ඕනෙ. ඉතින්, ලංකාවෙ පාඨකයින්ට ඒක තමන්ගෙම පොතක් කියන හැඟීම දැනෙන විදිහට කරපුවහම තමයි ඒක සාර්ථක වෙන්නෙ.

දැන් වෙනස් ප්‍රශ්න කීපයකට යමු. දැන් ලංකාවෙන් ඇවිත් සෑහෙන කාලයක් වෙනවනෙ, මොනවද මගහැරුනා කියලා දැනෙන්නෙ?

මුලින්ම ඉතින් අම්මා තාත්තා තමා. කොච්චර උනත් මෙහෙ ඉඳන් මුදල් හදල් වලින් උදව් පදව් කළත්, ඒ අය ළඟට වෙලා උපකාර කරන්න බැරි වුණ එක, ඒකෙ දුක කවදාවත් නැති වෙන්නෙනෑ. රටේ තත්ත්වය ගැනත් දුකයි. කොච්චර ලස්සනට දියුණු කරන්න පුළුවන් රටක්ද කියල හිතෙද්දි පුදුම දුකක් එන්නෙ. තව ලංකාවෙ කලාව, විශිෂ්ඨ කලා කෘති වගේ දේවල්, පොත් ප්‍රදර්ශන, සිනමාපට එහෙම මගහැරෙනවා. ඒ පැත්තෙන් දුකක් තනි කමක් තියෙනවා. අපේකම එක්ක ජීවත් වෙන්න නැති එකට. ඒත් මොනවා කරන්නද? පුළුවන් වෙච්චි හැම වෙලේම දුවන්නෙ ලංකාවට තමයි. ඒ වගේම මගෙ දරුවන්ටත් ගෙදර දි කතා කරන්නෙ සිංහලෙන්. එයාලට හොඳට සිංහල කතා කරන්න පුළුවන්. ඒ ගැන මට අහිංසක ආඩම්බරයක් තියනවා.

ටිකක් වෙනස්ම ප්‍රශ්නයක් ඇහුවොත්, අපි කියමු ඔබට එක් වරමක් හම්බුනොත් එක සැරයක් ලෝකෙ මොකක් හරි වෙනසක් කරන්න, මොකක් ද ගන්න පියවර?

ඔව් ඒක හොඳ ප්‍රශ්නයක්, අපි හැමෝගෙම හිතේ තියනවනේ අපේ රටට දෙයක් කරන්න ඕනේ කියලා. ඒකෙන් හොඳ ප්‍රවේශයක් ගන්න පුළුවන්. අපේ රට අතීතයේ රුවන්වැලි සෑය, අවුකණ පිළිමය වගේ ඉතා විශිෂ්ට ගණයේ නිර්මාණ බිහිකරපු රටක්. මං රජරට මනුස්සයෙක් විදියටලංකාවේ වාරි තාක්ෂණය, එකල ඉංජිනේරු තාක්ෂණය වගේ දේවල් මගෙ ඇස් දෙකෙන්ම දැකලාතියනවා. ඒත් දැන් පිටරටින් සේරම එනකන් බලන් ඉන්නවා. මං දැක්කා රූපවාහිනී වැඩසටහනකට ආපු රජරට ඉපදිච්චි මහාචාර්ය ගාමිණි රණසිංහ මහත්තයා කියනවා යල මහ කන්න දෙකම වගා කරන්න වතුර දෙනවනන් ගොවියො ලෑස්තියි වගා කරන්න, එහෙම කරන්න පුළුවන් නම් එදා පැරකුම්බා රජතුමාගෙ කාලෙ වගේ හාල් පිටරටට අපනයනය කරන්න අදටත් පුලුවන් කියලා.

මට අවස්ථාවක් ලැබුනොත් ලංකාවේ මිනිසුන්ගේ ඔලු ටික වෙනස් කරලා, හොඳ අධ්‍යාපන ක්‍රමයක් හදලා කුඩා කාලයේ සිටම වැඩදායී දෙයක් කරන්න හුරු කරන්න වැඩපිළිවෙළක් හදනවා. යමෙක් පරිසරයට, කලාවට ආදරය කරනවා නම් ඔහුට නිරායාසෙන්ම ස්වයං විනයක් ඇතිවෙනවා. ඒ සමගම තමයි ගුණාත්මක දියුණුවක් ඇතිකරන්න පුලුවන් .

ඉස්සර අපේ රටේ හරි අපූරුවට ඒ ආධ්‍යාත්මික දියුණුව තිබුනා. විවෘත ආර්ථිකය පැමිණීමත් සමඟ මේ දේවල් විනාශ වුණා. සල්ලි ප්‍රධාන අරමුණ වුණා. මට ලැබෙන අවස්ථාව අධ්‍යාත්මික දියුණුව ඇති කරන්න යොදවනවා. මට වෙනස් කරන්න පුලුවන් තරම් රටට ඵලදායි වෙන විදියට වෙනස් කරනවා. ම්ම්ම්... ලෝකය ගැන කතා කලොත් කොරෝනා නිසා ගොඩක් දුරට මිනිසුන්ගේආකල්ප යම්තාක් දුරට වෙනස් වෙමින් පවතිනවා. දැන් මිනිස්සු මේ දුවපු දිවිල්ල නවත්වලා ටිකක් නැවතිලා හිතනවා.

හරි එහෙනම් අපි සෑහෙන්න කතා කලා. අවසාන වශයෙන් අහන්නම් අපේ Sesatha වෙබ් අඩවිය ගැන මොකද හිතන්නේ? මුලින්ම මේක පටන් ගත්තේ Event Portal එකක් විදියට, දැන් අලුතින් Design කරලා තියනවා. ඒ ගැන මොකද්ද ඔබේ අදහස?

ඇත්තටම ලස්සන වැඩක්, මුල ඉදලාම මෙම වෙබ් අඩවියට ලොකු කැමැත්තක් සහ ඒ ගැන පැහැදීමක් තිබුනා. මොකද වෙනස්ම වැඩක්. ඉදිරියට එන කටයුතු ගැන විස්තර සදහන් කරනවා ලස්සනට, පැවැත්වූ වැඩසටහන් වල පිංතූර එකතු කරලා ඒ වැඩේ තවත් වර්ණවත් කරලා තියෙනවා . ලංඩනයෙ පවත්වපු මගේ පච්ච කොටන්න ජනගත කරපු වැඩේදීත් මං හීනෙකින්වත් නොහිතපු විදියට ඔබතුමා ඒක ලස්සනට කරලා දුන්නා. වැඩ සටහනක් අවසන් වුණාම සේසතවෙබ් අඩවියේ සියලුම පිංතූර තියෙනවනේ කියන දේ සියලු දෙනාගේම මතකෙට නැඟෙන විදිහට හැමෝටම ඒ ඒ දිනයන්වල මතකයන් එකතු කරලා තියනවා.

එහෙනම් බොහොමත්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට. ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

ඉදිරියේදී තිබෙන වැඩකටයුතු වලට කොහොමද කෙනෙකුට ඔබව සම්බන්ධ කරගන්න පුළුවන් ?

මගේ Mobile & WhatsApp නොම්මරය 075 40385096 ඒ වගේම විදුලි ලිපිනය - chandanagunasekera@yahoo.co.uk. ඊට අමතරව මුණු පොත මගින් මාව ලේසියෙන්ම සම්බන්ධ කර ගන්න පුළුවන්

Sesatha Coffee Chat - Segment 1

Lassana.com

Coffee Chat