free counter statistics

UK Sri Lankan Community

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි තිළිණය, - “ලන්ඩන් කවි” සඟරාව

person

කවියකට පද සොයන කවිකාර සිතක නැගුණු කවි නිමිත්තට පද ගලපමින් ලන්ඩනයේ සිට මුදාහැරෙන ශ්‍රී ලාංකීය කාව්‍ය සංග්‍රහය 2003 සැප්තැම්බර් මස පළමුවෙන්ම එළිදැක්වීණි. සීමා මායිම් නොමැති හැඟීම් ප්‍රකාශනය අර්ථවත් කරන්නට සැබැවින්ම අවසර හිමි වන්නේ කවියකට පමණි. ආරම්භයේ දී විශිෂ්ට ගණයේ කවි කිවිඳියන් අතින් ලියැවුණු කවි එකතුකර මුද්‍රණය කොට භෞතික බෙදාහැරීම සිදු කෙරුණු අතර කාලය ගතවත්ම කාර්යබහුල ජීවිතයේදී එය අපහසු කරුණක් විය. අකමැත්තෙන් වුවත් එය නවතා දැමීමට කතෘට සිදුවිය.

දස දහසක් වගකීම් හා යුතුකම් මැද ගෙවෙන දිවියට කවිය සපයන්නේ ප්‍රඥාවෙන් පටන්ගෙන ආනන්දයෙන් ගෙනදෙන අවසානයකි. බොහෝ අභියෝගයන්ට පිළිතුරු සපයමින් ගොඩනැගෙන තාක්ෂණ ලෝකය කවි රස වින්දනයට පෑදූ නවමු මානය ඔස්සේ "ලන්ඩන් කවි" සඟරාව ඔබ වෙත සමීප වන්නට සූදානමින් සිටී. අතථ්‍ය අවකාශයක් තුළ ඔබ රසවත් කරන්නට ලන්ඩනයේ සිට දිගහැරෙන ශ්‍රී ලාංකීය කාව්‍ය සංග්‍රහය විශිෂ්ට ගණයේ අසම සම රසවින්දනයක් ඔබට ගෙනෙනු නොඅනුමානය. නව “ලන්ඩන් කවි” වෙබ් අඩවිය අරඹා කෙටි කලක් තුළ ඉමහත් ජනාදරයකට පාත්‍ර වීමට තරම්, ලන්ඩන් කවිසරණිය පොහොසත් වී හමාරය. ඔවුන් හා අත්වැල් බැඳගත් කවි කිවිඳියන් මීට හේතුවයි. ඔවුන්ගේ මෙම විශිෂ්ඨ කාව්‍ය විශාරදයින්ගේ කවි සංකල්පනාවන් මිනිස් සිත් සන්තානයටම කා වදින, සිතුවිලි ධාරාවන් කම්පනය කරවන, ලොමු දැහැගැන්වෙන සුළුය ඒවාය. මන්ද, ඔවුන් ඒ තරමටම විශිෂ්ඨ අයුරින් සිය නිර්මාණයන්ට සාධාරණයක් සිදුකොට ඇති නිසාවෙනි.

“අප විශිෂ්ඨ කවියන්ගේ නිහතමානීත්වය මෙහිදී අගය නොකලොත්, එය මා විසින් ඔවුනට සිදු කරන්නා වූ අසාධාරණයක්. සිය ක්ෂේත්‍රය තුළ කෙළ පැමිණ සිටින මොවුන්, ‘කිරි වැදුනු වී කරල බිමට නැමෙන්නාක් මෙන්’ අපගේ එකම එක ආරාධනාව ගෞරවණීය ලෙස පිළිගෙන දිනක් දෙකක් තුළ සිය නිර්මාණයන් අප වෙත ලබා දීමට තරම් නිහතමානී වීම අගය කළ යුතු නොවේ ද?” යැයි වරක් අනුර හෑගොඩ මහතා අප වෙත ප්‍රකාශ කර සිටියේ ය. අනුර හෑගොඩ මහතා යනු, මෙම සඟරාවේ ප්‍රධාන සංස්කාරකතුමන් මෙන්ම මෙය ආරම්භ කිරීමට මූලිකත්වය ගත් පුද්ගලයාණන්ය. කවිය මුල් කරගත් විශිෂ්ට කවි පවුලකින් පැවත එන මෙතුමන් සංස්කාරකවරයෙක් පමණක් නොව, නළුවෙක්, නිෂ්පාදකයෙක්, නීතිඥයෙක් මෙන්ම, ලේඛනයේදී තියුණු හා අර්ථවත් අරමුණු ඇති ඉතා ප්‍රසන්න හා නිහතමානී පෞරුෂයකි. ඔහු සිය පවුලෙන් ලද ආභාෂය තුළින් ලාංකීය කවි කලාව ජාත්‍යන්තරයට ගෙන යාමට ගත් උත්සහයේ ප්‍රතිඵලයක්, මෙලෙස “ලන්ඩන් කවි” නමින් ඔබ මා වෙතට සමීප වී ඇත.

මෙම “ලන්ඩන් කවි” සඟරාවට සිය සහෘදත්වයේ දෑත් දිගු කළ විශිෂ්ඨ පෞර්ෂ්‍යත්වයන් අතර, ලුෂන් බුලත්සිංහල, ඩබ්ලිව්. ජයසිරි, සෝමරත්න දිසානායක, අශෝක හඳගම, කපිල කුමාර කාලිංග, මංජුල වෙඩිවර්ධන, බුද්ධදාස විතානාච්චි, බුද්ධදාස ගලප්පත්ති, රවීන්ද්‍ර රන්දෙනිය, කෝ. ආනන්ද, බණ්ඩාර ඇහැලියගොඩ, නුවන් තොටවත්ත, කෞශල්‍යා ජයලත්, සුදත් දේවප්‍රිය, උදය ප්‍රශාන්ත මැද්දේගම , ආසිරි විජේසේකර, නදී කම්මැල්ලවීර, වජිර ජයවර්ධන, රොඩ්නි විදානපතිරණ, ගුරුගොඩ සීලවිමල, සරත් විමලසිරි ආදී ජ්‍යෙෂ්ට කවීන්, සිනමා කරුවන්, රංග වේදීන් මෙන්ම, ලන්ඩනයේ අප හා උරෙනුර ගැටෙමින් ජිවත් වන ජ්‍යෙෂ්ට කවියන් වන දයා ආනන්ද රණසිංහ, චන්දන මනෝජ් විතාන, ශාන්ත සේනාධීර, උදාර කුලරත්න, මලපල්ලේ කුමුදු අමරසිංහ, සපුමල් බණ්ඩාර සහ චන්දන ෆොන්සේකා, ශ්‍යාම් කුමාර මුණසිංහ , ප්‍රීති සෙනරත්, පියුමි ජයකලණි සහ ලුම්බිණි විතාන යන කවි කිවිඳියන් ද වේ. නම කියූ පමණින්ම ඔබ මා සියල්ලන්ම දන්නා ඉහත නම් සඳහන් විද්වත් සහෘදයන්ගේ නවතම කවි නිර්මාණයන්ගෙන් මෙවර ලන්ඩන් කවි සංග්‍රහය ඔපවත් වී ඇති බවයි ආරංචිය.

2003 වසරේ සිට අඛණ්ඩව පුරා වසර 18ක පමණ කලක් ඔවුන් හා රැඳී සිටි සහෘද පාඨක ඔබ අප සැමගේ, රසඥතා තෘප්තිය උදෙසා සඟරාව හා එක්වන්නට එහි සංස්කාරක මණ්ඩලය ගෞරවාදරයෙන් ඇරයුම් කර සිටී. මෙලෙස දිගහැරෙන්නේ, ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය “ලන්ඩන් කවි” සඟරාවේ පෙබරවාරි කලාපය යි.

shareShare this article