මිනිසත්කමේ සුවඳ විහිදවූ " මනුසත් සැඳෑව".....

උපන්දින අරමුඳල වෙනුවෙන් චන්දන ගුණසේකර

එංගලන්තයේ කිසිවිටෙක, මෙය මෙසේ වේ යැයි විශ්වාසයේ තබා ගැනීමට නොහැකි , මොහොතකින් වෙනස් විය හැකි ඉංගිරිසි ඩබ්ලිව් අකුරින් පටන් ගන්නා කාරණා 3ක් පිළිබඳ ප්‍රකට මතයක් ඇත්තේය. එහි ප්‍රථමය Women නොහොත් කාන්තාවයන්ය. දෙවැන්න work හෙවත් රැකියාවය. මින් තුන්වැන්න weather නොහොත් කාලගුණයය. ප්‍රථම කාරණා දෙක කෙසේ වෙතත් මේ පසුගිය ඉරිදාවේ ඊට දෙදිනකට පෙර තිබූ යහපත් කාලගුණය වහා වෙනසකට බඳුන් වී අයහපත් තත්වයක් උදාවූවේය. නිල්වන් අහස් කුස අරා තේජමානව වැජඹුණු හිරු සැඟවී අහස පුරා කලු ඝන මේඝ වළා පැතිරිණි. ගස් වැල් සොලවමින් හමා ගිය කුණාටුවක පෙර නිමිති පැන නැඟි සීතල, සිරුරේ ඇට මිඳුලුද පසාකරමින් ඇදී ගියේ කිසිත් හිතක් පපුවක් නැති අයුරිනි.

තත්වය මෙසේ පවතිද්දී ලංඩනයේ එක්තරා ස්ථානයක පමණක් ඉතා සෞම්‍යවූ උණුසුමක් පැතිර තිබුණේ ඉතා විස්මිත අන්දමිනි. ස්ථානය වූයේ ලංඩනයේ ක්වීන්ස්බරි පුරවරයේ සියලු සාන්තුවරයන්ගේ දේවස්ථාන ශාලාව වූ අතර එය උණුසුම් වූයේ මනුසත්බවින් පිරි මිනිසුන් පිරිසකගේ ශ්‍රමයෙනි. එයින් නිකුත් වූ මනුසත් සුවඳ එංගලන්තයේ සියලුම ගම් දනව් සිසාරා පැතිර ගියේ සීතල පරයා නැඟුණු මව්පිය උණුසුමක් විලසිනි.

මා මේ අටුවා ටිකා කියමින් ඔබට පවසන්නට යන දේ දැන් පැහැදිලි කර දෙන්නම්. එය වෙන කිසිත් නොව ඊයේ හැන්දෑවේ මනුසත් සුවඳ විහිදවූ හා අති සාර්ථක අයුරින් නිමවූ ලංඩනයේ " උපන්දින අරමුඳල" මඟින් සංවිධානය කළ " මනුසත් සැඳෑව " පිළිබඳවයි.

වෙනදා මෙන්ම පැවති කාලගුණ තත්වය තඹයකට මායිම් නොකළ , සමනල සමනලියන් පිරිසක් සේ සැරසුණු උපන්දින අරමුඳලේ සාමාජික සාමාජිකාවන් උත්සව ශාලාවට ඇදුණේ දහවල් 12.30 වෙද්දීමය. එතැන් සිට ඇරඹුණේ සහෝදරත්වයේ එකමුතු ව්‍යායාමයයි. සමනලියන් පිරිස තම වියඳමින් තම තමන්ගේම නිවෙස්වල පිළියෙල කොට ගෙනආ ආහාර , ආහාර සල්පිලේ තබා විකිණීමට ලහි ලහියේ සකස් කළ අතර සමනලුන් පිරිස වේදිකාව සැරසීම, ශාලාව සැකසීම හා ශබ්ද පරිපාලක යන්ත්‍ර සූදානම් කිරීමේ යෙදෙනු දක්නට ලැබිණි. සැම අතකම දක්නට ලැබුණේ සාමූහික බවයි. කිසිවෙකුටත් කැපී පෙනීමේ අවශ්‍යතා, පොර වීමේ අවශ්‍යතා හා කර ඇරීමේ අවශ්‍යතා නොතිබිණි. කෙනෙකු තවෙකෙකුට වැඩක් පැවරීමට අවැසි නොවිණි. මන්ද සැමගේම හදවත්වල පැවතියේ එකම අරමුණකි. එකම දර්ශනයකි. එකම සහෝදර බැම්මකි. කැපී පෙනෙන්නන් මෙන්ම පෙනී සිටින්නන්ද නොසිටියහ.

සවස 2.30 පමණ වන විට ප්‍රේක්ෂකයන් එකා දෙන්නා ශාලාව වෙත ඇදෙන්නට පටන් ගත් අතර පස්වරු 3 වන විට ශාලාව පිරී ඉතිරිණි. වාදක මඬුල්ල තිරය පිටුපසට වී තම අනඟි ස්වර මෙවලම් පණ පොවා ගෙන සැදී පැහැදී සිටියහ. අත් වැල් ගායනයට පැමිණි පිරිස් පුහුණු වීම් නිමවා තිතට සුසර වී උන්හ. නිවේදිකාවන් දෙදෙනා සහ නිවේදක දියණිය තම වාරය පැමිණෙන තුරු නොඉවසිලිමත් වූහ.

එහෙත් සියල්ල සූදානම් වූවත් පස්වරු 3.45 පමණ වනතුරු සංදර්ශනය ආරම්භ කළ නොහැකි විය. හේතුව වූයේ අපගේ ආරාධිත කලාකරුවන් දෙපළ පෙරදා ලංඩනයෙන් සැතපුම් 150 ක් පමණ ඈත නඟරයක පැවති සංදර්ශනය නිමවා පැමිණිය යුතුව තිබු අතර මහ මාර්ග වල ඇතිවූ වාහන තදබඳයක් හේතුවෙන් ඔවුනට වෙලාවට පැමිණීමට නොහැකි වීමයි.එහෙත් කවදත් මෙවැනි මානුෂීය සංදර්ශනවලට පැමිණෙන ලංඩනයේ බුද්ධිමත් රසික ප්‍රජාව ඉතාමත්ම සංසුන්ව හා සංයමයෙන් පසුවූ විශිෂ්ට විලාසය මෙහිදී අගය කල යුතුමය.

කෙසේ වෙතත් ලහි ලහියේ වේදිකාව පිටුපසට ඔවුන්ව කැඳවා ගෙන යනු ලැබීය.සැණෙකින් තම ඇඳුම් අහවර කොට සංදර්ශනයට ඔබින ඇඳුමෙන් සැරසුණු ඔවුන් දෙදෙනා වේදිකාවට පිවිසියහ.

වේදිකාවේ තිරය වැසී තිබිණි. තිරය පිටුපස එකත්පස්ව වුන් වාද්‍ය වෘන්දය " මගෙ රත්තරං හෙලේනා" ගීතය වාදන කිරීමට පටන් ගත්හ. එහි කවුද කියන කොටස එනවිටම තිරය පිටුපස සිට කවුදෝ " කවුද...??" යැයි ඇසීය. එවිටම තිරය විවර වූ අතර එහි වාඩි වී සිට අපගේ ආදරණීය රෝහණ බැද්දගේ සූරීහූ " මගෙ රත්තරං හෙලේනා" කියමින් ගීතය සම්පූර්ණ කළේ නරඹන්නන්ගේ ප්‍රීති ඝෝෂා හා අත්පොළසන් නාදය මධ්‍යයේය. " කවුද" කියා තිබුණේ වෙන කවුරුන් හෝ නොව දුකාය. අපගේ අනෙක් ආරාධිත ශිල්පියා වූ වසන්ත බංඩාර දුක්ගන්නාරාළ සහෘද කලාකරුවාය.

නිවේදිකාවන්ගේ පිළිගැනීම් හා උපන් දින අරමුඳල ගැන ඉතාම සුරතල් අයුරින් විස්තර කළ සනාධි ඉලන්දාරිදේව දියණියගේ ඉතා අගනා කථාවෙන් අනතුරුව ගැමි සුවඳේ ආශ්චර්‍ය ලංඩනයේ වේදිකාවක් මත මෙලෙසින් දිඟ හැරිණි.

ඒ කෘතහස්ත කලාකරුවා, අව්‍යාජ ගැමියා තමන්ගේ සුපුරුදු දකෂතාවයන් පෙන්වා දෙමින්, අද 83 වියේ පසු වූවත් අප මීට වසර 30 කට 40කට පෙර ඇසූ ඒ අපූරු ගීත ඒ අයුරින්ම ඒ ජවයෙන්ම ගායනා කළේ ප්‍රේක්ෂකයන්ගේ දෑසට සතුටු කඳුළක් එක් කරලමිනි.

ජන සංගීතය, වැදි සංගීතය, පක්ෂීන්ගේ හා පරිසරයේ නාද රටා ඇසුරින් එතුමා නිර්මාණය කළ එතුමාම ලියූ ගීත , ඒ ඒ ගීතයට ප්‍රස්තූත වූ අනුභූතීන්ද පැහැදිලි කරමින් එතුමා ගායනය කළේ සංගීත හා කලා පිපාසිත ප්‍රබුද්ධ රසික කැල කුල්මත් කරමිනි. වරෙක එතුමා හාස්‍යයෙන් පිරි කතාවක් කියා සභාව සිනා සාගරයේ කිමිදවීය. එතුමන් ආදරය ගැන කළ විග්‍රහය ඉතාමත්ම රමනීයය. උත්ප්‍රාසය කැටිවූ හාස්‍ය පෙරදැරිකර ගත් එය මෙසේය. කලක් ගතවන විට එනම් ආදරයක් පරණ වනවිට එය නැවතත් පණගසා පෙර තත්වයට ඒමටනම් යම්කිසි උත්තේජනයක් එනම් ඉංග්‍රීසියෙන් කියනවනම් " කික්" එකක් අවශ්‍ය බවත් ආදරය එනම් " ලව්" එකට මේ දෙන කික් එක නිසා ලව්+කික නොහොත් ලෞකික යන වචනය ඇතිවූ බවත් ඇඟට පතට නොදැනී පැවසුවේ සභාව සිනාවෙන් සරසමිනි.

වේදිකාවේ, දුකාද සමඟ සංවාදයක ආකාරයකින් ගලා ගිය සංදර්ශනයේ තැනක දුකාද තමා ලියූ ගීත ගැන කතා කළේය.එහිදී ඔහු සේනානායක වේරලියද්දට ලියූ ලංකාවේ ඉතාමත්ම ජනප්‍රිය වූ " සිංහයාට බයයි නංගියේ" ගීතය ලිවීමට හේතු පාදක වූ ගිලිහී ගිය තම ප්‍රේම පුරාණය සභාවට විස්තර කළේ, එය අසා හඬන්නද එසේත් නැතිනම් සිනාසෙන්නද යන වග පවා රසිකයන්ට අමතක කරලමිනි. එය අසා ඉතාමත්ම අහිංසක ලෙස " මටත් ඔහොමම වෙලා තියෙනවා" යැයි බැද්දගේ සූරීන් පැවසුවේ රසිකන්ගේ සිනාවෙන් ශාලාව දෙදරවා හරිමිනි. දුකා එම ගීතය ගායනාද කොට රසිකයින් පිනවීමට අමතක නොකළේය.

මෙසේ ඉතාමත්ම රසවත්ව ගලා ගිය හෝරා කිහිපය ගෙවී ගියේ අස්ප වේගයෙනි. ඔවුනගේ ගායනයට හා සංවාදයට වශීකෘත වී වුන් අපට වෙලාව ගැන නිනව්වක් නොවුණි. එහෙත් සැමගේම සිත් වලට දුකක් කාන්දු කරමින් සංදර්ශනයේ අවසානය ලං විය.

එහිදී කතා කළ බැද්දගේ සූරීන් රැස්ව සිටි ප්‍රේක්ෂකයන්ගේ සන්සුන් ඉරියව්ව සහ තම ගීත විඳි ප්‍රබුද්ධ ආකාරය ගැන ඉතාමත්ම ඉහළින් වර්ණනා කළේය. තමා ඒ ගැන ඉකාමත්ම සතුටු වන බව පැවසුවේ ඒ අව්‍යාජ කුලුනු ගුණ සපිරි දෑස් ඉතාමත්ම සංතෘප්තියෙන් දල්වාගෙනය.

ඉන්පසු උපන්දින අරමුදල විසින් පිළියෙල කළ සම්මානයන් ඔවුන් දෙපළට ප්‍රදානය කළ අතර රෝහණ බැද්දගේ සූරීන්ගේ සම්මානයට අදාළ හේතුපාඨය මුදිතා මුණසිංහ නිවේදකතුමිය විසින් සහ වසන්ත දුක්ගන්නාරාළගේ සම්මානයට අදාළ හේතු පාඨය චාන්දනී සමරකෝන් නිවේදකතුමිය විසින් කියවනු ලැබිණි. ඉන්පසු ජාතික ගීය ගායනා කෙරුනු අතර එහිදී වේදිකාවට නැගී එය ගායනා කළ උපන්දින අරමුදලේ සාමාජික සාමාජිකාවන්ගේ කුඩා දූ දැරියන් කහ පාට සමනලුන් රෑනක් සේ දිස් වුණි.

ඉතාමත්ම සාර්ථකව සංවිධානය කෙරුණු මෙම සැඳෑව මෙසේ නිමා වූ අතර මේ වෙනුවෙන් වෙහෙස මහන්සි වූ අරමුදලේ සියලුම සාමාජික සාමාජිකාවනට මගේ ප්‍රණාමය පුද කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි. විශේෂයෙන්ම බැද්දගේ සූරීන් හා දුකාව එංගලන්තයට කැඳවාගෙන ආ එංගලන්තයේ ස්ටොක් ඔන් ට්‍රෙන්ඩ් හි පදිංචි ශාන්ත දිසානායක සොයුරා සමඟ සම්බන්ධීකරනය සිදුකර ඔවුන්ව අපගේ වැඩසටහනට සම්බන්ධකර ගැනීමට වෙහෙස වූ ආශා පියතිලක සොයුරියටද මගේ ස්තූතිය පුද කරන අතරම කිසිඳු පැකිලීමකින් තොරව ඔවුනව අපට ලබා දුන් ශාන්ත දිසානායක සොයුරාවද කෘතඥතාපූර්වකව සිහිපත් කරමි. තවද, වේදිකා පරිපාලනය කළ බංඩාර ගෙදර සොයුරා, ශබ්ධ පරිපාලනය, දෘශ්‍යපට ධාවනය සහ ආලෝකකරනය කළ ගොඩ්ෆ්‍රි ද සිල්වා සොයුරා සහ ඔහුගේ පුත්‍ ඩෙක්ස්ටර් ද සිල්වා ,නිවේදක කටයුතු වලින් අපට සහය වූ මුදිතා මුණසිංහ සොයුරිය , ධම්මික සොයුරා ඇතුළු වාද්‍ය වෘන්දය, වීඩියෝකරන සහ නිශ්චල ඡායාරූප ශිල්පීන්ටද අපගේ හෘදයාංගම ස්තූතිය පුදකරමු. එමෙන්ම මෙය අති සාර්ථක සැඳෑවක් වූයේ ප්‍රවේශ පත්‍රයක් මිලදී ගෙන මෙය නැරඹීමට පැමිනි ආදරණිය සහෘද ඔබ සැම නිසාවෙනි. ඔබ මෙහිදී වියදම් කළ සියලුම මුදල් සතයක් නෑර උපන්දින අරමුඳලින් විසින් ලංකාවේ සිදුකරන සත්ක්‍රියාවනට යොදවන බවටද මේ සමඟම උපන්දින අරමුඳල වෙනුවෙන් මම වගකීමෙන් යුතුව සහතික වෙමි. ඉතාමත්ම ඉක්මනින් මෙහි අයවැය වාර්තාව අපගේ උපන්දින අරමුඳල වෙබ් අඩවියේ පළකරනු ඇත. එමෙන්ම උපන්දින අරමුඳල විසින් මෙම වසරේම තවත් මෙවැනිම වෙනස් ආකාරයක වැඩකින් ඔබ සැම හමුවීමට එනබවට අරමුදල වෙනුවෙන් පොරොන්දු වෙමින් මම නිහඬ වෙමි. අවසානයට පෙර එක් කරුණක් නම් මතක් කළ යුතුමය.එනම් ඊයේ සැඳෑ කල ලංඩන් වාතලය පිරීගිය මනුසත් කමේ සුවඳ අපගේ හදවත් පුරවාලූ බව සහ එය අපේ මව්බිමටද ආදර්ශයක් වන බවය.